පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් දහතුන් දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරීමට නියෝග - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 28, 2020

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් දහතුන් දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරීමට නියෝග



පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම කාර්යාංශයේ නිලධාරීන් දහතුන් දෙනා තවදුරටත් ඔක්තෝබර් මස  12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නියෝග කළා.


මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.


මෙහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් විසින් මාතර සිට බලපිටිය දක්වා හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 130 ක ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව "මංජු" නැමැති සැකකරුවකු අත්අඩංගුවට ගෙන මේ වන විට රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරමින් පවතින බව දැනුම් දුන්නා.


මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලින් අනතුරුව පිස්තෝල දෙකක් සහ ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් සොයා ගත් බවත් ඒවායේ අංක ඔස්සේ විමර්ශන පැවැත්වූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට සඳහන් කළා.


එහිදී ඉන් එක් පිස්තෝලයක් 1996 වසරේ දෙසැම්බර් 31 වනදා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ට නිකුත් කළ ගිනි අවියක් බවට කරුණු අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ.


යුද හමුදාව සතු ගිනි අවියක් මේ ආකාරයෙන් පාතාල සාමාජිකයන් අතට පත් වූයේ කෙසේ ද? යන බරපතළ ප්‍රශ්නය මේ වන විට පැන නැගී ඇතැයි පෙන්වා දුන්  නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා යුධ හමුදාව විසින් එම ගිනි අවිය නිකුත් කළේ කුමන නිලධාරියාට ද ? එය පාතාල සාමාජිකයින් අතට පැමිණියේ කෙසේද? යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කිරීමට අවශ්‍යව තිබෙන බවත් සඳහන් කර සිටියේ.


විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සැකකරුවන් බැඳුම්කරයක් මත මුදාහරිණ ලෙස තමන් විසින් කර ඇති ඉල්ලීමට අදාළව තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍යව තිබෙන බව දන්වා සිටියා.


පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වැඩිදුර වාර්තා වල අසත්‍ය කරුණු රාශියක් අන්තර්ගතව තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට තමන් අපේක්ෂා කරන බවත් නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයට දන්වා සිටියා.


එම කරුණ කෙරෙහි දැඩි විරෝධය පළ කර සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙම සැකකරුවන් සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමට ඉතාම සූක්ෂම ආකාරයෙන් සම්බන්ධ වී ඇති ආකාරය සාක්ෂි මගින් දැනටමත් අධිකරණය හමුවේ පැමිණිල්ල විසින් තහවුරු කර ඇතැයි සඳහන් කර සිටියා.


මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් උපයා ගත් මුදල් වලින් රුපියල් කෝටි 19 ක පමණ වටිනාකමින් යුත් දේපළ අත්පත් කර ගෙන තිබෙන බවත් ඒවා අධිකරණ නියෝග මත මේ වන විට තහනමට ගෙන ඇති බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා පෙන්වා දුන්නා.


ඒ අනුව මෙම කරුණට අදාළව ලිඛිත කරුණු  ඉදිරිපත් කිරීම ඔක්තෝබර් මස 07 වනදා සිදු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා විසින් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතාට නියෝග කළේ.


අනතුරුව සැකකරුවන් ලබන 12 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

No comments:

Post a Comment

Post Bottom Ad