"මෛත්‍රී - රනිල් CID යට කැඳවන්න " - නීතිපතිගෙන් නියෝග - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 17, 2019

"මෛත්‍රී - රනිල් CID යට කැඳවන්න " - නීතිපතිගෙන් නියෝග

පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගෙන් හා කොළඹ අගරදගුරු හිමිපාණන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (17දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ ප්‍රකාශ කළේය.
හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනකුගෙන් හා හිටපු කථානායක කරු ජයසූරිය මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බැව් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඊයේ (17දා) අධිකරණය හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර වාර්තාවක් ගොනු කර තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පොලිස්පතිවරුන් දෙදෙනකුගෙන්, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකුගෙන් හා හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් මේ වනවිට ඊට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම නඩුව පිළිබඳ වැඩිදුර විමර්ශනය සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඒ අනුව මෙම නඩුව නැවත දෙසැම්බර් 23 වැනිදා කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර මාලාව පිළිබඳව දැනුවත් වී සිටියද එය වළක්වා ගැනීමට කටයුතු නොකර වගකීමෙන් බැහැරවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad