අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(20) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය ගැටලු පිළිබඳව පත් කළ අමාත්‍ය අනුකමිටුව රැස්වී තිබේ. 2019 සහ 2020 වර්ෂවලට සාපේක්ෂව ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල මේ වනවිට සීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 08 හි රැස්වූ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය අනුකමිටුවේ අවධානය යොමු වී ඇත.
භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීම, බොරතෙල් සඳහා වන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද (PAL) නැවත සකස් කිරීම හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය ගැටලු පිළිබඳව පත් කළ අමාත්‍ය අනුකමිටුවේ තෙවැනි සාකච්ඡාව මෙලෙස පැවැත්විණි.
ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල 2019-2020 වර්ෂ වලට සාපේක්ෂව 2021 වසරේ මේ දක්වා විශාල වශයෙන් ඉහළ යෑම අවධානය යොමු කරමින් උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජනතා සහන අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව අමාත්‍යවරු මෙහි දී අදහස් පළ කර තිබේ.
විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ වන විටත් පියවමින් ඇත්තේ 2019 වර්ෂයට අදාළ ණය මුදල් බව මෙහි දී හෙළිදරව් වී ඇත.
පසුගිය වසරේ මුදල් අමාත්‍යංශය මැදිහත්වී ඉන්ධන මිල ස්ථායි කිරීම යටතේ රුපියල් බිලියන 50ක මුදලක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවා ඇතත් තවත් රුපියල් බිලියන 79ක ණය ලැබීමට නියමිතව ඇති බව මෙහි දී අනාවරණය වී ඇති අතර ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දෛනිකව ලබන පාඩුව විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.
ජනතා සහන ලබාදෙමින් විදුලි ඒකකයක් පාරිභෝගික ජනතාවට ලබා දීම වෙනුවෙන් මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් 10ක පමණ පාඩුවක් ලබන බව ද නිලධාරීන් පෙන්වා දී ඇත.
මෙම හමුවට අමාත්‍යවරුන්වන ඩග්ලස් දේවානන්දා, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා, සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, ධීවර අමාත්‍යංශයේ ලේකම් ආර්.එම්.අයි රත්නායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.එස් අතුල කුමාර, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ජේ කහවත්ත, ධීවර අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ) ධම්මික රණතුංග, බලශක්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) චාමින්ද හෙට්ටිආරච්චි, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධික රුවන් මඩිහේවා මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

No comments:
Post a Comment