මට සිදුව ඇත්තේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට වඩා උද්ඝෝෂණ වෙනුවෙන් කාලය වැය කිරීමටයි - ජනපති - විගස පුවත් - Vigasapuwath

Friday, February 28, 2020

මට සිදුව ඇත්තේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට වඩා උද්ඝෝෂණ වෙනුවෙන් කාලය වැය කිරීමටයි - ජනපති

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව 2018 වර්ෂයේ මූල්‍ය පාලන නීති රීති හා රෙගුලාසිවලට අනුගතවීමේ කාර්ය සාධනය පිළිබඳ සතුටුදායක ප්‍රතිඵල පෙන්වු ආයතන ඇගයීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (28) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු කෙරිණ.
රාජ්‍ය ගිණුම් කාරක සභාව 2018 වර්ෂයේදී රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන 844ක් ඇගයීමට ලක්කර ඇත. ඉන් තෝරාගත් රාජ්‍ය ආයතන 109කට සම්මාන පිරිනැමින.   රන් සම්මාන 55ක්, රිදී සම්මාන 23ක් හා සම්මාන සහතික 31ක් ප්‍රදානය කරනු ලැබීය. විශිෂ්ටතා දැක්වූ ආයතන වෙත රන් සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ අරමුණ රාජ්‍ය  සේවකයන් නීතියෙන් බැඳ තැබීම නොවේ යැයි උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා පැවසීය. ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ මූල්‍ය අධීක්ෂණයට ලක් වන සියලු රාජ්‍ය ආයතන ආවරණය වන පරිදි ඇගයීම සිදු විය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය. ඉදිරිපත් කෙරෙන ප්‍රශ්නාවලිය ද යාවත්කාලීන විය යුතුය. පුද්ගලික අංශය සිය ආයතන මෙහෙයවීමේ දී අනුගමනය කරන ක්‍රමවේද ආදර්ශයක් ලෙස ගැනීමේ වැදගත්කම  ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

කළමනාකරණ විමර්ශනය වේගවත් මෙන්ම පුළුල් කිරීමට රජය කැප වී සිටී. දෛනිකව ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට රාජ්‍ය ආයතන උද්ඝෝෂණ කණ්ඩායම් කිහිපයක් පැමිණේ. මේ නිසා තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවට  උද්ඝෝෂකයන් සඳහා වැඩි කාලයක් වෙන් කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩලයට සිදුව තිබේ.  අවසානයේ දී උද්ඝෝෂණ කණ්ඩායම්වල වගකීම අදාළ අමාත්‍යාංශ භාරගත යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

මහජන මුදල් පිළිබඳ පූර්ණ බලය පාර්ලිමේන්තුව සතුය. ඇතැම් රාජ්‍ය ආයතනවල සිදුවන මූල්‍ය අවභාවිතය පිළිබඳව මාධ්‍ය වාර්තා කරයි. පාර්ලිමේන්තුව අනුමත කළ වියදම් ඉක්මවා ගනුදෙනු වංචා සිදුවීමේ දී රාජ්‍ය දෙපළ ආරක්ෂා වි තිබෙනවා දැයි හෙළි කිරීමේ වැදගත් කාර්ය භාරය රාජ්‍ය ගිණුම් කාරක සභාව සතු බව  ජනාධිපතිතුමා කියා සිටියේය.

කතානායක කරූ ජයසූරිය. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, සිසිර ජයකොඩි, ඩුලීප් විජේසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, විගණකාධිපති,  අමාතාංශ ලේකම්වරු ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීහු සහ රාජ්‍ය නිලධාරිහු මීට එක්ව සිටියහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *