ගිනි ගන්නා පර්ල් නෞකාව හිමි සමාගම් ප්‍රධානියා ගෙන් විශේෂ හෙළිදරව්වක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 26, 2021

ගිනි ගන්නා පර්ල් නෞකාව හිමි සමාගම් ප්‍රධානියා ගෙන් විශේෂ හෙළිදරව්වක්

කොළඹ වරායට ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට පැමිණීමට පෙර වෙනත් වරායන් දෙකකට ඇතුල්වීමට අවසර ඉල්ලා තිබුනත් එම වරායන් දෙකෙන්ම මෙම නෞකාවට ඇතුළු වීම සඳහා අවසර හිමිවී නැති බව එම නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂක ටීම් හාර්ට්නොල් ප්‍රකාශ කර සිටිනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙම නෞකාවේ ගින්නට හේතුව ඒ තුල ප්‍රවාහනය කරමින් තිබූ රසායන ද්‍රව්‍ය කාන්දුවක් බවයි.

ගිනි ගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රැගෙන යමින් තිබූ කන්ටේනර් 1486 ක් අතරේ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් අඩංගු කන්ටේනර් කීපයක් ද ඇතුළත්ව තිබුණා. මෙම රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් මෙම ගින්න ඇතිවූ බවයි එම සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා සඳහන් කර ඇත්තේ.

" නෞකාවේ ඇසුරුම් කර තිබු කන්ටේනර් බහාලුම් වල තිබෙන රසායනික ද්‍රව්‍ය කාන්දුවෙමින් තිබෙන බවට එහි සිටි සේවකයින් පළමුව දැක තිබුනේ ශ්‍රී ලංකාවට කිලෝමීටර් දහසකට ඈතින් පිහිටි අරාබි මුහුදේදී. ඒ ගැන දැනගත් විගස නෞකාවේ කපිතාන්වරයා ඉන්දියාවේ හසීරා වරායෙන් සහ කටාර් හි හමාඩ් වරායට ඇතුල් වීමට අවසර ඉල්ලා තිබුණා. ඒ එම නෞකාවේ තිබු බහාලුම් බෑමටයි. නමුත් අවසර හිමිවුයේ නැහැ. ඒ අනුවයි නෞකාව ආසන්නතම වරාය වන ශ්‍රී ලංකාවට පැමිණියේ" නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

කෙසේ වෙතත් ඒ වන විටත් නෞකාව තුළ ගින්නක් ඇති වීමේ අවදානමක් මතුව තිබූ බව සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා පිළිගෙන ඇත්තේ.

" ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයේ වරායන් දෙකෙන් අපට අවස්ථාව ලබාදුන්නා නම් මෙම බහාලුම් ගොඩබෑමට මෙවැනි ඛේදවාචකයක් ඇතිවීමට ඉඩ නොතිබෙන්න තිබුණා" ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කොළඹ වරායට සැතපුම් 9.5ක් දුරින් ගිනි ගනිමින් තිබෙන MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මේ වන විට දකුණු දෙසට ඇලවී ඇති බවත් ඉදිරි පැය කිහිපයේදී නෞකාව මුහුදුබත් වීමට ඇති ඉඩකඩ වැඩි බවයි සාගර විශේෂඥයින් සඳහන් කරන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad