වරාය නගර ආර්ථික කොමිසන් සභා පිහිටුවීමට අදාල පනත් කෙටුම්පතට ඡන්දය විමසීමේ දී පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ඊට ඡන්දය ලබානොදුන් මන්ත්‍රීවරු දෙදෙනකු ගැන වාර්තා වේ. ඉන් එක් අයෙක් වන්නේ වරාය නගර පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතාය.
විජේදාස රාජපක්ෂ මහතා පසුගිය මහා මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණ ලැයිස්තුව යටතේ තරඟ කොට 4 වැනි ස්ථානයට තේරී පත්විය.
අනෙක් මන්ත්‍රීවරයා වන්නේ යහපාලන ආණ්ඩු සමයේ හම්බන්තොට වරාය චීනයට බදු දීම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකළ එවකට වරාය ඇමති මහින්ද සමරසිංහ මහතාය.
පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු පොදුජන පෙරමුණ යටතේ තරඟ කොට 8 වෙනි ස්ථානයට තේරී පත්විය.
මේ දෙදෙනාම සෘජුවම පොදුජන පෙරමුණේ සාමාජිකයින් වන අතර දෙදෙනාම ඡන්ද විමසන අවස්ථාවේ සභා ගැබේ නොසිටි අතර මේ දෙදෙනාටම නව රජයේ කිසිදු කැබිනට් මණ්ඩල අමාත්‍ය ධූරයක් නොලැබීම මත දැඩි කලකිරීමකින් සිටින බව ප්‍රසිද්ධ කරුණකි.
විජේදාස රාජපක්ෂ මහතා තමන්ට ලබා දුන් රාජ්‍ය අමාත්‍යධූරය බාරගැනීම ප්‍රතික්ෂේප කරන ලදී.
විජේදාස රාජපක්ෂ මහතා ආණ්ඩුව සමඟ ඇති කරගෙන තිබෙන අර්බුදකාරී තත්ත්වය මත ඔහු ඡන්දය භාවිතා භාවිතා කිරීමෙන් වළකින බව ආණ්ඩු පාර්ශවය කල්තියා දැන සිටි මුත් මහින්ද සමරසිංහ මහතා සභා ගැබට නොපැමිණීමට හේතුව ආණ්ඩු පාර්ශ්වයේ බොහෝ දෙනෙක් දැන සිටියේ නැති බව හැඟී ගියේ ඡන්දය විමසන අවස්ථාවේ ඔහු පිළිබඳව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් අවධානය යොමු කිරීම නිසාය.
දැනගන්නට තිබෙන ආකාරයට මහින්ද සමරසිංහ අමාත්‍යවරයා මේ වන විට විදේශගතව සිටී.
පසුගිය වර්ෂයේ ඔක්තෝම්බර් මස 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව මේ දෙදෙනාම ඡන්දය දෙන ලදී.

No comments:
Post a Comment